ඉතාලියේ කොමෝ නගරයේ සිරි සිදුහත් දහම් පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය දා පැවැත්විණි. මිලානෝ නගරයේ ලංකාරාම විහාරස්ථානයේ වැඩවසන බඩල්කුඹුරේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ සහ මිලානෝ නගරයේ ධර්ම නිකේතනයේ විහාරාධිපති පොල්ගහතැන්නේ ශීලවිමල හිමියන්ගේ මේ උත්සවය සදහා වැඩම කළහ. කොමෝ නගරයේ නගරාධිපති තුමා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද එහි පැමිණ සිටියහ.
මව් රටින් පිටත ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් ආගමානුකූල දිවිපෙවතකට හැඩගැස්සවීමේ අරමුණින් 2012 වර්ෂයේ මාර්තු 04 වැනි දින මේ දහම්පාසල ආරම්භ කරන ලදී. එහි ආරම්භයේ සිට සංවිධායකවරු ලෙස ජසින්තු සිරිලාල්, චමීර ප්‍රියශාන්ත, ජසින්තු ශ්‍රී ලාල්, පුබුදු එරංග සමරසිංහ යන මිතුරන් පිරිස කටයුතු කරති.
මේ දහම් පාසලේ විශේෂත්වය වන්නේ රෙබ්බියෝ ප්‍රදේශයේ ක්‍රිස්තියානි පල්ලියකට අයත් ශාලාවක වීමයි. ජීස්ටෝ දෙල්ලාවල්ලේ පියතුමා මේ ශාලාව ලබා දිමට කටයුතු කර තිබේ. විවිධ ප්‍රසංගයේ නැටුම් ගැයුම් වැයුම් පුරුදු පුහුණු කරන ලද්දේ ඩී.එල්.ශ්‍රියානි මහත්මිය විසිනි.